ජොසපින් සිස්සත්තෙ පාස් වෙලා කොළඹ ලොකු ගෑණු කොලීජියකට ආවේ අම්මගෙ හීන මල්ල කරේ දාගෙනය. ඉස්කෝලෙ ඉගනගන්න ජොසපින්ට වෙද නළාව කරේ දමා ගන්න ඕන වෙලා තිබුනෙ රෝද හතරෙ මාලිගාවෙන් බැහැල කේප්සී එකේ එකම පන්තියේ හාමුලත් එක්ක කුකුලු මස් රස බලන්න හීන දැක්ක නිසා මිස වෙන උලව්වකට නොවේය. ඉංගිරිසි ටිකක් කටේ ගාගන්නා ජොසපින් බස් හෝල්ට් එකේ ඉංගිරිසියෙන් කතා කල හාමුලා වගේ ඉංගිරිසියෙන් කතා කරන්න හීන දැක්කෙ නැත්තෙත් නෑ.
අප්පච්චි කුඹුරු කොටල හම්බ කරපු රුපියල් ටිකක් මැක්ඩොනල්ඩ් එකේ ලාච්චුවට යැව්වෙ අම්ම හොඳට කාපන් දුවේ කියල එව්ව සල්ලි එකතු කරල ගත්ත ඉස්මාට් පෝන් එකෙන් පොටෝ අරන් සෝසල් මීඩියා දාන්නත් එක්කය. දැන් පොස් වෙන්න යන ගමනේ ඉන්න ජොසපින් සිංහල පාවිච්චි කරන්නේ අඩුවෙන්ය.
හාමුලා දාන සපත්තු දාන්න , හාමුලා අදින ඇදුම් අදින්න දැන් ජොසපින් හරි ආසය. ඉංගිරිසි නාට්ටියක සුදු කොල්ලෙකුට පෙම් බදින ජොසපින්, එයට තබන නම ක්‍රස් එකය. දැං සිංහල සින්දු ගොඩේය , බෝරිංය. එඩ් සීරන් ජස්ටින් බීබර් වීරයන් වී ඇත. අයම් ඉන් ලව් විත් යො බොඩී.. කියා ගයන විට එහි රඟන තරුණයා ක්‍රස් එකක් කරගැනීමට ජොසපින්ට තප්පරෙන් අරික්කාලක් වත් යන්නේ නැත.
බෝඩිමේ වට්ටක්කයි බතුයි කන ජොසපින් ඒවා කිසි දිනක එක්ස්පෝස් කරේ නැත. ජොසපින් කිසිදාක පොලොවේ පය ගසා ජීවත් වූයේ නැත. අඩි දෙකක් උඩින් ගිය ජොසපින් හිතුවේ ටීවී එකේ දුටු සුදු කොල්ලා වැනි අයෙක් තමන්ව කැන්දාගෙන ගොස් මලක් වගේ බලාගනී කියාය.
ජොසපින් පේල්ය. දෙපාරම පේල්ය. ජොසපින් ෆැන්ටසියක ක්‍රස් වලට ලව් කරන කොට හාමුලා ජොසපින්ව පාස් කර ඇත. ජොසපින් අතරමංය. දැං ජොසපින්ට ලව් සික් ය. ජොසපින්ට ඕනෙ සුද්දය. උදේට තේ එක අතට ගෙනත් දෙන, ලස්සන හිමිදිරියක පිටිපස්සෙන් ඇවිල්ල බෙල්ල සිප ගන්න ටීවී සීරීස් එකේ සුද්දය. සමාජය ගැන අබමල් රේණුවක දැනුමක් නැති ජොසපින් කලු මිනිසුන් අතර හොයන්නෙ සුදු කොල්ලාගෙ කොලිටීස් ය. ජොසපින් සිතුවේ සුදු අසුපිට නැගි පොස් කුමරෙක් පැමිණ මාලිගයේ තබා තමන්ව රැජිණියක් සේ බලාගනීවි කියාය. ජොසපින් ඒකත් පේල් ය
අවසානයේ ජොසපින් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වැඩකරන සිරිපාල සමග අතිනත ගත්තේ සුදු හාමු හොයාගත නොහැකි වූ තැන, ගෙදරින් පංගරාත්තු කරපු නිසාය.
------------------------------
මොනව හරි වත්කමක් තියන මිනිස්සු ජීවත් වෙන්නෙ උන්ගෙ ලයිෆ්ස්ටයිල් එකටය. උන්ට ඒකෙ මහා ලොකු ආතල් එකක් වත් මැජික් එකක් වත් මවා පෑමක් වත් නැත.මේක බලාගෙන ඉන්න ගමේ ගොඩේ සිට සිදාදියට පැමිණි ජොසපින්ලා සහ සිරිපාලලා ඉහල පන්තියේ පොටෝ කොපි වීමට යාම දුක්ක දායකය. ගමේ ගොඩේ සිට කරපින්නාගෙන එන සියලුම සිරිත් විරිත් ගුණ ගරුක කම් සහ හැදියාවන් පොළොවේ ගසා හාමුලාගේ සංස්කෘතික වහලුන් වීමට යාම ඛේදවාචකයකි. මොවුන් හදාගන්නා ඊනියා පොස් සංස්කෘතික රාමුව තුල හිරවෙන මොවුන් අවසානයේ තමන්ගේ නොයෙක් වටිනාකම් අහිමි කර ගනී.
පොස් වීම සහ ජොසපින්
Location:
Nugegoda, Sri Lanka
0 comments:
Post a Comment